Hadith for the World
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්යාව

උත්තරීතර කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කිරීමේ පල ප්රයෝජන

8 hadiths

8 hadiths

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.رواه مسلم
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”متفق عليه
සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබියස අපි සිටියෙමු. එවිට එතුමාණෝ: "සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" යැයි විමසා සිටියහ. එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එතුමාණෝ: "සිය වාරයක් ඔහු තස්බීහ් පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මැකේ." යැයි පැවසුහ.رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව කඃබ් ඉබ්නු උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය."رواه مسلم
عن زيد مولى رسول الله صلى الله عليه وسلم قال: قال رسول الله صلى الله عليه وسلم : «من قال: أَسْتَغْفِرُ الله الذي لا إله إلا هو الحَيَّ القيَّومَ وأتوب إليه، غُفرت ذنوبه، وإن كان قد فَرَّ من الزَّحْف».رواه أبو داود والترمذي
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"رواه مسلم
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."متفق عليه